පසුගියදා රත්නපුර නගරයේදී සැලකිය යුතු පිරිසක් බලා සිටියදී පොලිස් නිලධාරියකුගෙන් අමානුෂික පහරකෑමට ලක්වූ බව කියන කාන්තාව තමාට සිදුවූ ඒ අනිසි හිරිහැරයට වන්දියක් වශයෙන් රුපියල් කෝටි පහක මුදලක් ඉල්ලා නීතිඥයකු මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ ගොනු කළාය.
පෙත්සම්කාරිය රත්නපුර කහදොළ පදිංචි ඩබ්ලිව්. ඒ. කාන්තිලතා නම් වේ. රත්නපුර පොලිස් ස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් පොලිස්පතිවරයාත් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.
පෙත්සම්කාරියට පහර දුන් බව කියන පොලිස් නිලධාරියා වගඋත්තරකරුවකු හැටියට පෙත්සමට ඇතුළත් කර නොතිබූ අතර ඇය සඳහන් කර ඇත්තේ ඔහු හොඳින් දන්නා හඳුනන
රත්නපුර පොලිසියේ නිලධාරියකු වන නමුත් ඔහුගේ නම නොදන්නා බවයි.
ඉකුත් සැප්තැම්බර් 14 වැනිදා සවස එම පොලිස් නිලධාරියා රත්නපුර බස් නැවතුම්පළේදී පස්සෙන් පන්න පන්නා කෙස් වැටියෙන් අල්ලා පහර දෙනවා විශාල පිරිසක් බලා සිටි බවත්, ඒ දර්ශනය කිසියම් පුද්ගලයෙකු වීඩියෝ ගතකර ඇති බව පසුව තමාට දැනගන්නට ලැබුණු බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
ඒ වීඩියෝ පටය ද ඇය පෙත්සම සමග අමුණා උසාවියට ඉදිරිපත් කර තිබිණි.
1994 දී විවාහ වූ තමා දෙදරු මවක් බවත්, විවාහක සැමියාගෙන් වෙන්වී සිටින තමා ජීවනෝපාය වශයෙන් ගණිකා වෘත්තියෙහි යෙදෙන බවත් පොලිස් නිලධාරියා තමාට පහර දුන්නේ මුදල් ගෙවීමක් නොකර තමා සමග ලිංගික ඇසුරකට ඔහු කළ ඉල්ලීමට තමා ප්‍රතික්ෂේප කළ නිසා ඒ තරහට බවත්, ලිංගික සේවාවන් සපයා දේශීය මෙන්ම විදේශීයන්ද පිනවන තවත් විශාල පිරිසක් රත්නපුර නගරයේ සැරිසරන බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
සිද්ධියෙන් පසුව රත්නපුර පොලිසියේ නිශාන්ත බණ්ඩාර, කොස්තාපල් තමා හමුවීමට පැමිණ රුපියල් 3000 ක් දී තමාට පහර දුන් පොලිස් නිලධාරියා සමග ඇතිවූ සිද්ධිය සමථයකට පත්කර ගන්නා ලෙස දැන්වූ නමුත් ඊට තමා අකමැති වූ බවත් තමාට සිදුවූ තුවාලවලට ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් සිද්ධිය ගැන පැමිණිල්ලක් කිරීමට පොලිසියට නොගියේ තමන්ට කරදරයකට මුහුණපාන්නට සිදුවේය යන බියෙන් බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා මගින් පෙත්සම ගොනුකර තිබිණි.
පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ විට අධිනීතිඥ ලක්ෂාන් ඩයස් මහතා ඇය වෙනුවෙන් පෙනී සිටිමින් වාචිකව කරුණු දක්වනු ඇත.සරත් ධර්මසේන