ඉස්සරට වඩා දැන් ආදරයට ඇරයුම් ලැබෙනවා

තරුෂි නයනතාරා, ඇය රංගනයට නවක චරිතයක්. තරුෂි නමින් ඇයව නොහැඳිනුවත් දේදුණු ටෙලි නාට්‍යයේ දේදුණුව හුඟ දෙනෙක් හඳුනනවා ඇති. සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාව ඇසුරෙන් පුංචි තිරයේ දිගහැරෙන දේදුණු සඳුන් රාජකරුණාගේ අධ්‍යක්ෂණයක්. මේ පුංචි තිරයට දේදුණු වුණ තරුෂි ගැන තොරතුරු පෙළ ගැස්මයි.
තරුෂි දැන් ජනප්‍රිය දේදුණු නමින්ද?
ඔව්. හුඟක් අය කතා කරන්නේ දේදුණු කියලා. මගේ නමින් හඳුනන අය විතරයි මට තරුෂි කියලා කතා කරන්නේ.

තරුෂිට දේදුණු චරිතය ලැබෙන්නේ කොහොමද?
මම 2013 අවුරුද්දේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරිය තේරීමේ තරගයට සම්බන්ධ වුණා. අවුරුදු කුමාරි වුණේ නැහැ. මට හිමි වුණේ දහවැනි ස්ථානය. ඊට පස්සේ පුවත්පතක කවරයක මගේ ඡායාරූපයක් පළ වුණා. ඒක දැකලා තමයි නිල්වලා ආයතනයෙන් මට කතා කළේ. දේදුණු ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සඳුන් රාජ කරුණා මහතා ස්ක්‍රීන් ටෙස්ට් එකට එන්න කිව්වා. එතැනදී තමයි මට දේදුණු වෙන්න පුළුවන් කියලා එතුමා තීරණය කළේ.

තිරය හැඩකරන කැමරාව ඔබට ආගන්තුකයි. කැමරාවට මුහුණ දුන් ප්‍රථම අවස්ථාව ඔබට අභියෝගයක් වෙන්න ඇති...?
මම කවදාවත් රඟපාලා නැහැ. පාසල් කා‍ලේවත්. ඒ නිසා මට කැමරාව ඉස්සරහ හැසිරෙන්න අමාරු වුණා. හරිම නුහුරු හැඟීමක් දැනුණා. ඒ බය නැති කරගන්න කැමරාවක් ඉස්සරහා නමෛයි මම ඉන්නේ කියන හැඟීම ඇතිව රඟපාන්න අධ්‍යක්ෂ ඇතුළු ප්‍රවීණයන් හැමෝම උදව් කළා. ඒ නිසා ටික දවසක් යනකොට නුහුරු කැමරාව මට හුරු වුණා.

කියන්නේ තරුෂි දැන් රඟපාන්න දක්ෂයි...?
ප්‍රතිචාර හුඟක් ලැබෙනවා. හුඟ දෙනෙක් කියනවා මුල්ම රඟපෑම වුණාට ඒ ආගන්තුකකම චරිතයෙන් පේන්නේ නැහැ කියලා. ඒ නිසා මම සාර්ථකයි කියලා හිතනවා. නමුත් සියයට සියයක්ම දක්ෂයි කියන්නේ නැහැ. මට දැනෙනවා පෙනෙනවා වගේ වැරදි. මම ඒ වැරදි හදා ගන්න ඕන.                                                
ජනප්‍රිය නිසා ආදරයට වැඩපුර ආරාධනා ලැබෙනවා ඇති...?
ඇත්තටම ඉස්සරට වඩා ආදරයට ඇරයුම් ලැබෙනවා. ඒ දේදුණු නිසා. එහෙම නැතිව ඉස්සර දැක්ක තරුෂිට නමෛයි.

ඔබ ආයුර්වේද වෛද්‍ය සිසුවියක් නේද?
ඔව්. මම උසස් පෙළට කළේ ජීව විද්‍යාව. මම ඉගෙන ගත්තේ මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයෙන්. ඊට පස්සේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. දැන් මම වෛද්‍ය විද්‍යාලයේ තුන්වන වසරේ සිසුවියක් උපාධියෙන් පස්සේ වෘත්තිය ආයුර්වේද ෙවෛද්‍යවරියක් වෙයි.

ඊට පස්සේ රංගනයෙන් ඉවත් වෙනවද?
මට හුඟක් ප්‍රතිචාර ලැබෙන නිසා රඟපෑම අත්හරින්න ලෝබයි. ඒත් අධ්‍යාපන කටයුතුවලින් පස්සේ වෛද්‍යවරියක් වුණොත් බොහෝ දුරට රංගනය සීමා වෙයි. මගේ තාත්තා වගේම සීයත් ආයුර්වේද වෛද්‍යවරු. ඒ නිසා රැකියාවෙන් ඉවත් වෙනවට නම් ඒ අය අකැමැති වෙයි. පුළුවන් විදිහට රංගන කටයුතුවල නිරත වෙනවා.
තරුණියක් හැටියට ඔබ ප්‍රසිද්ධ සමාජයේ පෙනී ඉන්නවට දෙමාපියන් කැමැතිද?
මගේ අම්මයි, තාත්තයි මුලින්ම මම රඟපානවට අකැමැති වුණා. ඒත් දැන් නම් ලොකු අකැමැත්තක් නැහැ. මගේ අම්මා ගෘහණියක්. ඇය රමණී ගුණරත්න. මගේ තාත්තා චන්ද්‍රසිරි ගුණරත්න. එයා ආයුර්වේද වෛද්‍යවරයෙක්. මට ඉන්නේ මල්ලි විතරයි. එයා ඉසුරු ප්‍රමෝද්‍ය, තවම ඉගෙන ගන්නවා.